ගවේෂණය කළ යුතු තවත් පුළුල් ලෝකයක් ඇතැයි මුල්ලේගම කඳු මුදුනේ සිට පසක් කළෙමි.
හිඳින්නෙමි මම, හුදකලාව, නවගත්තේගම අපේ පුරාණ කටුමැටි ගෙයි, කඩා වැටුණු බිත්ති හා අතීත ගෙපල මත. අපේ බාලම පුතා සඳහා මෙම නටබුන් මත මගේ බිරිඳ පුංචි ගෙයක් හදාගෙන යයි. වෙනත් ගමනක් යද්දි මම එහි ගොඩ වැදුනෙමි. රාත්‍රිය ගතකොට යන්නට මට ආරාධනාවක් ලැබෙයි. මගේ අම්මා මෙන්ම පුතාලගෙ අම්මා ද එළිමහනේ කොනක ලිපක් සාදා මඤ්ඤොක්කා තම්බමින් සිටි. අලූත්ගෙට තවම කුස්සියක් නැත. විදුලි ආලෝකය පමණක් ලබාගෙන ඇත. වෙනදා ඈ මා අවට හැසිරෙන්නේ ඉන්නවාද නොඉන්නවාදැයි නොදන්නා විදයටය. ඇය විසින්ම ඇයගේ පැවැත්ම අප්‍රකට කරගෙනය.
අද ඇය දොඩමළුය. හදිසියේ මගේ පැමිණිම නිසා විය හැක. අගනුවර මෑත තොරතුරු ද මා නොදන්නා මගේ ගමේ වගතුග ද ගොනුකරන්නට ඈ දොඩමළු වෙයි. අද නිකිණි පෝයට මුල්ලේගම පංසලේ සිල් සමාදම් වෙන්නට තීරණය කොටගෙන ඇති බවක් ඈ මට හඟවයි.
මුල්ලේගම වචනය ඇසු විගස වර්තමානය මට අමතක විය. මා හිඳගෙන සිටින කුඩා ආලින්දයේ එල්ලී සිටින බල්බයෙන් මිදුල ආලෝකමත් වී ඇත. මට කෂණිකව මතක් වෙයි. ආදී කාලයක මේ මිදුල සඳඑළියෙන් නැහැවී බැබලෙමින් තිබු අවදිය. මිදුල පුරා මාගලක් එලා ඇත. පිළේ තබා ඇති ලාම්පු කුප්පිය වටා වනාන්තරයෙන් පැමිණෙන සිය ගාණක් විවිධාකාර කෘමින් රැස්ව ඇත. එහෙයින්, තාත්තාද තාත්තාගේ මිතුරන් කිප දෙනෙකුන්ද මම ද මාගලෙහි හිඳගෙන අම්මා කෙරෙහි බලාපොරොත්තු තබා බලා හිඳිමු. ඈ උණු උණුවේ මේ දැන් බාපු කුරක්කන් පිට්ටු ද දඩමස් ද ඇඹුල ද පුරවාපු මැටි පිඟන් රැගෙන එයි. ගොවිරාළට පළමුව ද තාත්තාට දෙවනුව ද මට තුන්වෙනුව ද සංග්‍රහ කරයි.
මිදුල ආලෝකමත්ව ඇත්තේ විදුලි ආලෝකයෙනියි මට අමතක වෙයි. බිරිඳ ඈත සක්වලක සිට කතාකරන්නේ යැයි මට හැඟෙයි.
අද චන්ද්‍රග්‍රහණය ඉවර වෙන්නේ එකොළහටලූ. අවුරුදු එකසිය විසිගාණකට පස්සේලූ ඔය විදහට හඳ රාහු ගිල්ලේ ඔය තරම් දිග වෙලාවකට. ඔය විදියේ ම දිගම දිග රාහු ගිලිල්ලක් ආයි වෙනකොට අපි කවුරුත් මැරිලා ගොහින්. එංගලන්තෙ අපේ දූගේ දුවත් නෑ.
අපේ මිනිපිරියගේ අනාගත මරණය ගැන ඇසීමෙන් මා තුළ සංවේගයක් ඇති නොවේ. මම පහන් සිතින් මිදුලේ කළාලය මත හිඳගෙන පිට්ටු කන මා ඇතුළු පිරිස දිහා බලාසිටිමි. මිනිපිරිය ද අපේ කිරිඅත්තාගේ උකුලේ හිඳගෙන පිට්ටු පිඟානට අත පොවන්නට දඟලයි. එහෙත් එංගලන්තයේ හැදෙන වැඩෙන ඇය අත දමන්නේ කොන් ෆ්ලේක බඳුනකටය. කොන් කියන්නේ බඩ ඉරිගු වලට යැයි ඇය නොදනී. චන්ද්‍රග්‍රණය ඇය දකිනු ඇත්තේ රූපවාහිනී රාමු වශයෙන් පමණකි.
අද ගමේ එච්චර සද්ද බද්දයක් නැත. මගේ බිරිඳගේ කටහඩ මට ඈත පිට සක්වලකින් ඇහෙනවා වාගේය. ඉස්සරහ පාරේ කවුද කතා කරමින් යති. ඈත තැනක් බැල්ලියන්ගේ අඩ දබර ඇසෙයි. බැල්ලියකගේ වේදනාව ඊටත් උඩින් ඇසෙයි. මේ මාසය සුනඛයින් ගේ මද කිපෙනා කාලයයි. බිරිඳට ඒ කිසිවක් ඇහෙන්නේ නැතුවා වාගේය. මා ද තාත්තලා ද සඳඑළියේ මුදුලේ හිඳගෙන දඩ මස් සමඟ පිට්ටු කන අතරේ අපේ කඩියා අදෘශ්‍යමාන අවතාරවලට, සොරුන්ට බුරමින් වත්ත වටා දුවයි. බඩගින්නෙ සිටින තමා කෙරෙහි අවධානය යොමු කරවා ගැනීමට ඌ නිශ්චිත උත්සාහයක් ගනී.
වත්තේ තුරු මුදුන් අතරින් මට ආකාශය පෙනෙයි. රාහුගේ ග්‍රහණයෙන් මිදීමට සඳ තනන්නේ නැත. අභ්‍යවකාශයේ නිශ්චිතව සිදුවිය යුතු විපර්යාසයකට සඳ නිරායාසයෙන් ගොදුරු වෙයි. නියාමධර්මයට අනුකූලව නිතැතින්ම බලසම්පන්න රාහුගේ ග්‍රහණයෙන් තමා මිදී යන බව චන්ද්‍රයා දැන සිටිනා සේය. මම ද එම දෛවෝපගත සිදුවීම දිහා උදාසීනව බලා සිටිමි. මුල්ලේගම ගැන බිරිඳ නැවත යමක් කියනු ඇසේ. එම වචනයෙන් ද්වනිත වන්නා වු ස්මරණයන් ඔස්සේ අනායාසයෙන් මම ද මුල්ලේගමට යන පාරේ ගමන් කරමි.
මුල්ලේගමට යන පාරේ මා සමග එකට පය තැබු කෙල්ලන්, කොල්ලන් බෝහෝය. එදා ඔවුන් මා දුටුයේ විවිධාකාර හැඟීම්බර ධාරණාවන්ගෙන් ගෙතුනා වු විවිධාකාර චරිතයක් ලෙසය. මගේ ඇවැස්ස නෑනා ගමේ සෙසු සියලූ කෙල්ලන්ට වඩා සියක් ගුණයකින් ලස්සනය. මා තනියට හදා වඩාගත් බයියා මස්සිනා මගේ එකම කල්‍යාණ මිත්‍රයාය. පාප මිත්‍රයාය. ලේ ඥාතියාය. මගේ සූරවීර ආරකෂක භටයාය. අද ඔවුන් දෙස මා බලන්නේ වෙනස් ඇසකිනි. කාලය හා අවකාශය අනුව ඔවුන් මා තුළ ඇති කරන්නේ අතිශයින්ම වෙනස් දෘෂ්ටියක් ආත්මකොට ගත් හැඟීම් ජාලාවකි. බාලෙහි ලෙංගතු වු කෙනෙකු ඇතැම් විටෙක මා තුළ අද කිසිදු හැඟීමක් ඇති නොකරයි.
මුල්ලේගම අඩවිය එසේ නොවන්නේ මන්ද ? එම අඩවියෙහි සැරිසරණ කාලයේදී ද මුල්ලෙගම කන්ද හා කන්ද ආශ්‍රිත වනාන්තරය එකම විදයට මට පෙනෙන්නේය. එහි අභයන්තර ගර්භයෙහි සැඟවි සිට සමයේ මගේ ඇඟපතට දැනුනා වු සියළු සංකීර්ණ අසංකීර්ණ භීතිය, සන්ත්‍රාසය, සැකය, සාංකාව බදු සුඛ දුඛ වේදනයන් එලෙසින්ම අද ද මට දැනෙන්නේය. යාථාර්ථයේදි ද අධියථාර්ථයේදී ද කාල්පනික ස්වපින ලෝකයේදි ද මුල්ලේගම අඩවිය මත්තෙන් මුල්ලේගම කන්ද එකම දැවැන්ත සත්‍යයක් සේ මා අබියස අහස් කුස පුරා නැඟී සිටින්නේය. බාලෙහි මෙන්ම අද ද මම වන අඩවියෙහි අතරමංව ඉදිරියේ නැඟී සිටිනා දැවැන්ත පර්වත රාජයා දිහා ඇස් හයා බලා සිටින්නෙමි.
නෑනලාගේ ගෙදර හවස් භාගය ගත කරන්නේ නම් මම ඒ ගෙදරින්ම කා නැන්දම්මාගේ පැඳුර අසළම පැදුරක් එලාගෙන නෑනා ද මම ද නිදා වැතිරෙමි. මහ රෑ අවදිවන ඇතැම් විටෙක බොහෝ වේලා මම අසා සිටින්නෙමි. මුල්ලේගම වනාන්තරය පැත්තෙන් අලි ඇතුල්නගේ කුංච නාදය ඇසෙයි. මද කිපුණු බළලූන්ගේ මෙන් අඳුන් දිවියන්ගේ කචබෝචය ඇසෙයි. බකමුණන් හුම් හුම් ගායි. මුවැත්තියත් කාට ද සංඥාවක් කරයි. වනාන්තරය තුළ සිටියත් නොහිටියත් උළලේණීගේ හඬ ඇසෙන්නේ එකම ගුප්ත සංවේගයක් දනවමිනි. හෙට උදේම අලූත් බත් දානය රැගෙන මුල්ලේගම පංසලට යන්නට ඕනෑ යයි අම්මා කියු බව මට මතක් වෙයි. හැතැප්ම තුනක් විතර ගමන්කොට දානය පිළිගන්වා තවත් හැතැප්ම තුනක් ආපසු ඇවිත් මිස අලූත් බත් දානයට ඉයු බත්මළු කෑම තහනම් බව ද ඊළඟට මම මහත් දොම්නසින් මෙනෙහි කෙළෙමි. හාමත මට එතරම් හුරුදෙයක් නොවන්නේය.
උදැසනම බයියා මස්සිනා ද මම ද කරත්ත පාරට බසිමු. තල්කොළ දාන පෙට්ටිය මස්සිනා ගේ හිස් මත්තේ වෙයි. කරත්ත පාරේ මැද තණපඳුරු දණක් උසට වැඩී ඇත. රෝද දෙකට හෑරුණු කානු දිගේ අපි ගමන් කරමු. සූර්ය තාපය උදේම අධිකව ඇත. අපට වෙහෙසක් නැත. දෙපස වැඩි නිරුපද්‍රව හැමදා තිබෙන රෑස්ස ගස්වල අතුපතර එකට බැඳී සෙවන සලසයි. වළිකකුළන්ගේ හැඩළිම නොනවත්වා තවම ඇසෙයි. මා තුළ කුහුළක් ඇතිවෙයි. ගංකුකුළන් මෙන් වළිකුකුළන්ද ද හිරු උදාව සමග හඩලන්නට පටන් ගන්නේද ? මුව රංචුවක් පාර මැදට පැමිණ නැවතී මොහාතක් අප දිහා බලා සිට අනික් පසින් කැලෑවදී.
අරච්චිරාගම, කෝන්කල්ලට වැවෙන අඩිපාරට හැරෙන තැනින් මුල්ලේගම පන්සලට යන කෙටි අඩිපාර දකුණු අතට වැටී තිබේ. අපි ඉතා පටු එම අඩිපාරට වැටෙමු. උදැසන ආලෝකය අතුරුදහන් වේ. සශ්‍රීක දැවැන්ත වනාන්තරුයේ අන්ධකාරය මැදින් අපි දෙදෙනා පුන්‍යකර්මයක් අරබයා සන්සුන් සිතින් ගමන් කරමු. රාත්‍රියේ හෙළන ලද අළුත් අලි බෙටි පෑගෙන විට දෙපතුලට උෂ්ණයක් දැනෙයි.
"ඉස්සරහ බිම බලාගෙන යමං සර්පයෝ මාරුවෙනවා" මස්සිනා කියයි රැයක් දවාලක් බලන්නේ නැතුව වෛවර්ණ සර්පයෝ ඉතාම සංසුන්ව එහේ මෙහේ ගමන් කරති. පාර හරහා අතුවල දැවටී ඔළුව පහතට හෙලාගෙන ගොදුරක් පාත්වෙන තුරු බලා සිටිති. මට නම් ඔවුන් කුරුල්ලන්ටත් වඩා ලස්සණය. මා වැඩියෙන්ම බය අඩිපාර අයිනේ පඳුරුවල පොදිහානේ ඉන්නා වැලි කිනිතුල්ලටය. පය ගෑවුණු විගස දාස්ගණන් කිනිතුල්ලෝ එක්වරම ඇඟට ගොඩවෙති. අමුඩයේ ද හිසකෙස් අතරද සැඟවෙති. ඇතැම් විටෙක උන් අරින්නට පතහකට බැස වරුවක් සිටින්නට සිදුවෙයි.
මේ ළඟ පාත අලියෙකු සිටින බව අපට දැනෙයි. උගේ බඩ ගෙරවිල්ල අධිකය.
"තනි අලියෙක්" මස්සිනා රහස් හඬකින් කොඳුරයි.
එදා පුංචිකාලේ වුවද වැඩිහිටියන්ගේ කතාබහ ආශ්‍රයෙන් අලි ඇතුන්ගේ හැසිරීම් රටාව හඳුනාගෙන සිටියෙමි. තුන්පත් රැළ, මහ රැළ ඇත්නම් ඉතා ඈතක සිට වුව ද ඔවුන්ගේ දැඟලිල්ල, අතු කඩා කන හඬ අපට ඇසෙයි. තනි අලියා එසේ නොවේ. මනුස්ස ගඳ වැදුන ගමන් තනි අලියා නිසල වෙයි. බලා සිටී. ඔහු පහර දෙන්නේ තමන්ට අණතුරක් වෙතැයි හැඟුන හොත් පමණකි. ගණන් ගන්නේ නැතුව බඹයක් දුරින් වුවද සංසුන්ව ගමන් කළහොත් ඌ කලබල වන්නේ නැත.
අපි දෙන්නා සංසුන් ගමණින් ඒ හරිය පසු කරමු. තොර තෝංචියක් නැති රැහැයි හඬ පසුකරගෙන පංසල් ඉඩමේ සීමාවට ඇතුල් වෙමු.
එළිමහනට පැමිණි විගස මට දැනෙන්නේ හිස් බවකි. අවධානය විසර යයි. අතන ඊයේ රාත්‍රියේ මුවෙක් බෙටි ගහලා මේ මොකක්ද ඌරෙක් කිරි අල හාරලා අර ඉගිලෙන්නේ රෙදි හොරා ලස්සණම කුරුල්ලා ඌ රෙදි හොරෙක් වුණේ කොහොමද ? කතන්දරයක් ඇත අම්මා කියාදුන්, කතදරය මම සිහිපත් කරමි.
මුල්ලේගම ඝන වනාන්තරය මැදින් ගමන් කරනා විට අපේ පුංචි සිත් මෙසේ එහාට මෙහොට ගමන් නොකරයි. නානා විධආරම්මන කෙරෙහි ඇස් නොදුවයි. ඝර්මකලාපීය සියලූ ගහකොළින් ද තෘණ පඳුරු මල් වැලවලින්ද ගහන වනාන්තරය මනුෂ්‍යයාගේ මැදිහත් වීමකින් තොරව සශ්‍රීකව සිටි අනාගතයේ හෝ මනුස්ස ආක්‍රමණයක් වෙතැයි බලාපොරොත්තුව මෙන් රූස්ස ගස් අතුපතර එකිනෙකාට දැවටී ස්වධීන දැවැන්ත ජිවිතයක් ගොනු කරගෙන එකිනෙකා බදාගෙන ශක්තිමත් ආරකෂිත පවුරක් සේ බැඳී සිටි. එය එකම ගුප්ත පෝදියකි. කොතරම් සුර්ය රශ්මිය අධීක වුව ද තම ගුප්ත අති සංකිර්ණ අන්ධකාර ජීවිතය ඇතුළට කිමිදි හිරු රැස් ධාරාවට විනිවිදව වැටෙන්නට ඉඩ දෙන්නේ වනානන්තරයට වුවමනා තරමට පමණකි.
මෙම ගුප්ත ලෝකය හරහා යන විට අපගේ අවධානය අතිශයින්ම තීකෂණ වේ. එලිමහනේ මෙන් කල්පනාව විසිර නොයයි. රැහයින්ගේ එකාකාර ගෝසාව පසුබිමේ වුව ද විවිධාකාර ගුප්ත හඬවල් එම ගුප්ත බව තවත් තීව්‍ර කරයි. අතු කඩා වැටේ. අතුසෙලවේ කුරුල්ලෝ විවිධාකාර මිහිරි ශබ්ද නඟති. දෙදෙනා ආග්නතුකයන් දෙදෙනෙකු මෙනි. සීරු මාරුවන සතා සත්තු ගණපත ඝණ අන්ධකාරය තුළින් අප දිහ බලා සිටින බව මම දනිමි. මස්සිනා ද මම ද අහිංසක කුඩා ළමයින් දෙදෙනෙකු පමණකියි නිසැකව හඳුනා ගනිති. පාර හරහා සන්සුන්ව ඇදී යන සර්පයෝ මඳක් නතරව අපගේ දෙපා දෙස බලාසිටිති. අනතුරක් වන්නේ ඔවුන් පෑගුනොත් පමණකි. ඔව්හු ආත්මාරකෂාව සඳහා පමණක් දෂ්ට කරති. පිඹුරෙකුට වුනත් මිනිහෙකු ගොදුරු කර ගන්නට වුවමනාවක් නැත.වනානාතරය තුළ වුවමනාතරම් ආහාරපාන ඇත. අපගේ පසිඳුරන් නන්නත්තාරේ නොයයි. හාත්පස ගුප්ත ජිවිතය හරහා යන අපගේ සියලූ ඉඳුරන් තියුණු අවධානයකින් ඒකාග්‍රව ගොනු වෙයි. වනාන්තරය කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්ත බිය සැක සාංකාවකින් අපගේ ඇඟපත පවා සසළ වෙයි. වනාන්තර ගුප්ත ගර්භයට ඇතුල්වු විගස ඈත ගමේ ඉන්නා අපේ අම්මලා පවා අපෙන් ඈත්වෙති. වනාන්තරයට ඇතුළු වු තැන් පටන් වනාන්තරය අපේ අල්ප ජිවිත තම ආධීපත්‍යය යටතට ගනී. වනාන්තරයෙන් එළයට බසින්නට අපට ඉඩක් දෙන්නේ වනාන්තරයේ නීතිය නොකඩා අවනතව වනාන්තරය තුළ ඊටම ආවේනික සම්ප්‍රදායික තහංචි නොබිඳ යටහත් පහත්ව ශිෂ්ඨ විනය ධර්ම ආරකෂා කරමින් හික්මීමෙන් ගමන් කළහොත් පමණකි.
අඩිපාර දෙපැත්තේ ද උස් පදුරුය, ලන්දය, ගස්ය, වම්පස ගොම්මන පිටුපස පුරාණ ගල් පතහ වෙයි. සිල් සමාදන් වන්නට අම්මලා සමඟ ආ ඇතැම් විටෙක ළමා ලපටින් සමඟ මම ද සිල් රෙද්ද ගල් බැම්ම මත ගලවා දමා පතහට පැන ජල ක්‍රීඩා කරමින් දැස් ගොරක මද මෙන් රතුවන තුරු සිත්සෙ දිය නාමු දකුණු පැත්තේ තුරු මුදුන් මතින් ඉතා උස ගලක් මතුවී මතුවී පෙනේ. මෙය ගල් අටුවකියි තාත්තලා කියති. සැබවින්ම අටුවක පියස්ස මෙන් එහි මුදුන නිර්මාණය වී ඇත. පුරාණ රජ දරුවන් අනාගත නියඟයනට සුදානම්ව මෙහි වී පුරවා තිබු බව මතයකි. මම මේ කතාව විශ්වාස නොකළෙමි. ගල් අටුවේ පියස්සේ කඩතොලූ අතරින් වී ඇට ඩැහැගත් කුහුඹුවන් අදත් පිටවෙන්නේ යැයි තාත්තලා කියති.
"මලේ මට නං වස බඩගින්නක් ආවා" තල්කොළ දානය පෙට්ටිය ඉසේ තබාගෙන යන මස්සිනා කියයි. ලූල් මාලූ අලූත් ඇල්හාලේ බත් සුවඳ ඉවසන්නඩ බෑ නැන්දම්මලා මේ තරම් සුවඳට උයන්නේ පංසලට උයනකොට විතරයි.
හතරපේරුවේ දායකයන් සඳහා ගේට්ටු හතරකින් යුක්තව සාදා ඇති පුරාණ බණ මඩුව පසුකොට අපි ආවාසය වෙත යමු. ඉතාම දිළිඳු කුඩා අවාසය දැවැන්තව මට පෙනේනේ එහි ඉතා උස් පිළ නිසාය.
“හාමුදුරුවෝ තවම බුදි වාගෙයි” මස්සිනා කියයි.
පිළ මත බුලත් තට්ටුව වෙයි. එහි බුලත් මැලවී වියලී ගොස් ඇත. දින කීපයක්ම ආවාසගෙය හාමුදුරුවන්ගේ පහස ලබා නැතැයි මම නිගමනය කරමි.
මගේ ද බඩ පණුවන් දඟලන්නට පටන් ගෙන ඇතැයි හැඟේ. සුවඳ වහනය වන දාන පෙට්ටිය අසල වාඩි වී සිටීම දුෂ්කරය.
“මස්සිනා නගිමුද කන්දට”
ඉන්පසු අපි මුල්ලේගම කන්ද නගින්නට ආරම්භ කළෙමු. කැඩි බිදි ගිය ගල් පර ඔස්සේ ගමන් කරනා විට බඩගින්න අමතකවෙයි. නැවතත් ගණපත අන්ධකාරය වටකොට ගත් වනාන්තරයකට පිවිසෙමු. ගුප්ත වනාන්තරය අපගේ සිත්සතන් සන්ත්‍රාසයෙන් කළඹයි. කැළඹීම මේවර උත්සන්න වන්නේ අපගේ අතපය ප්‍රබෝධමත් කරමිනි. කැඩුනු බිඳුනු ගල්පඩි පණිමින් ඉහළට ගමන් කිරිම තවත් එක් ක්‍රිඩාවකි. මේ වන විට බඩගින්න කොහෙන් අතුරුදහන් වුවාදැයි නිච්චියක් නැත.
ගලෙන්ම මතුකොට ගත් පඩිපේලියක් දිගේ අපි ගල හාරා නිමවු පතහ වෙත යමු. ඊට උඩැහින් කටාරම් කැපු ගල්ගුහා වෙයි. ශිලා ලේඛනයක්ද වෙයි. අපතේ හැර ඇති පතහේ වතුර කොළම කොළ පාටය. ගෙම්බෙකු දෙන්නෙකු පාසිමත වාඩි වී අප දිහා සැකයෙන් බලා සිටී.
කන්දේ අනික් පැත්තට ගියපසු බයියා මස්සිනා විහාර පිළිම ගෙවල්වල දොරවල් හරිමින් ඔහුටම ආවේනික වින්දනයක් ලබන්ට විය. දහඅට රියන් බදු පිළිමය විශ්ණු හාමුදුරුවන් ඉඳි පිළීමය නරඹනවාට වඩා ඔහු පරණ බර දොරවල් ඇරීමෙන් වැසීමෙන් මහත් ආශ්වාදයක් ලබන්නාසේ ය. ඒ පැත්තේ ගුහා පේලියේ අවසාන පිළිමගෙයි ඇත්තේ විචිත්‍රාකාරයෙන් නාට්‍යාකාරටෙයන් අඹා ඇති වෙස්සන්තර ජාතකයේ ජූජක බමුණා සම්බන්ධ පුවතයි. බයියා මස්සිනා මෙම පිළිම නරඹමින් තනියම සිනාසෙමින් කවට කමෙන් විනෝදවෙමින් වරුවක් විතර එතැන ගත කරන බව මම දනිමි.
මුල්ලේගම කන්ද මුදුනට ආ විගස ජූජකයා පමණක් නොව මහත් වු භක්ති ආදර පූර්වක හැඟීම් දනවන බුද්ධ ප්‍රතිමා වහන්සේලා ද මට අමතක වේ. බාලේහි මාගේ ලෙඩ දුකට පිහිටවුනු මහවිෂ්ණු හාමුදුරුවරුන්ද අමතක වේ. කාන්දමක් විළසින් කඳු මුදුන අයිනට එන ලෙස කිසියම් දෛවයක් මට අඩගහන්නා සේය. මම එහි ගොස් පුරාණ අරලිය ගහේ අත්තක් අල්ලා ගෙන එක එල්ලේ පහළට නැඹුරුවු ප්‍රපාතය දෙස බලමි. දෑස් එසවු විට පෙනෙන්නේ අනන්තය දක්වා විහිදුනා වු සිතිජයයි. කරදිය වළල්ලයි. සමතලා පොළොව හරහා විහිදි ගිය දර්ශනය ද පැතැලිය. දර්ශනයට ගැඹුරක් ලැබෙන්නේ මුල්ලේගම කන්ද ඉස්සරහා නැගී සිටි තවද වු කන්දක ගල් තුරු හිස් මුදුන හරහා වු දෘෂ්ඨි කෝණයෙනි.
දසවට පැතිරී ගියා වු මීදුමාරයකින් වැසී ගියා වු මෙම පැතලි දර්ශනයෙන් මම වශිකෘත වෙමි. ධ්‍යාන ගතවෙමි. තැනින් තැනින් දුමාර නැගි ආකාශය කරා ගමන් කරනු පෙනේ. මීදුමානයෙන් යට සැඟවි සිටිනා ගම්මානයකින් විය හැක. ගිනි තැබු හේනකින් විය හැක. ඒ අනුව මගේ කල්පනාවට යොමු වන්නේ කරදිය වළල්ල දක්වා ගව් යොදුන් ගණන් නිමක් නැති භුමි භාගයේ සැඟව ඇත්තා වු දාස් ගණන් ගම් නියම් ගම් හා කුඩා කුඩා නගරයි.
අපේ ගම්තුලානේ දවසක් රැයක් ගතවෙන විට මොනයම් තරමේ දෙවල් සිද්ධ වෙනවාද ? ඈතින් පෙනෙන ඉතා වට දුර ලෝකයේ දහසක් ගම්මාන නගරවල මා මෙතෙක් ජිවත් වුයේ අපේ ගම්මානයට සීමා වු සීමා භුමියකය. එය ද පුරාණ වෘක්ෂ ලතා ජාලයකින් වැසී ඇත්තේය. ආකාශය වුව මනාව පෙනෙන්නේ වැව් තාවුල්ලේ, වැව් කන්දේ හෝ වෙම්බුපිටියක සිටය.
එක්තරා දවසක අපේ අම්මා මේ මුල්ලේගම කඳු මුදුනට මා කැඳවාගෙන ආවාය. එය තීරණාත්මක දෛවෝපගත ගමනක් විය. අපේ ගමට ඔබ්බේහි වු දිග පුළුල් ලෝකයක් පිළිබඳ අනියත හැගීමක් මා තුළ ඇති විය. ඒ ලෝකය කවදා හෝ දැක කුමක් සිදුවන්නේදැයි දැන කියා ගත යුතු යැයි ද අසාවක් මා තුළ පිළිසිඳ ගත්තේය.
හදිසියේම බයියා මස්සිනා ගේ කටහඬින් මගේ ධ්‍යානය බිදිණ.
මලේ මට නං හොඳටම බඩගිනියි. යමු කොහේ ගියත් හාමුදුරුවෝ ආපහු ඇවිල්ලා ඇති දානේ වෙලාව පහුවේගෙන එනවා.
අපට දුවගෙන දුවගෙන ගල් පඩියෙන් පඩිය පණිමින් කන්ද බහින්ට එතරම් වේලාවක් ගත නොවීය. හාමුදුරුවෝ තවම පැමිණ නොසිටියහ. කොහේ වැඩියා දැයි අසා දැන ගැනීමට ද කෙනෙකුන් නැත. අපේ හාමත ද අධීක වෙයි. දානය නොපිළිගන්වා ආපසු යන්නට ද නොහැක.
අර්බුදය උග්‍රවෙත්ම වේලාව ගතවෙත්ම බයියා මස්සිනාගේ ස්ථානෝචිත ප්‍රඥාව ක්‍රීයාත්මක වන්නට විය. පළමුකොට ම ඔහු මිදුලට බැස හේමලයා දිහා බලාගෙන පියවර මනින්නට විය.
ඉර හැරිලා පියවර කීපයක්ම ගතවෙලා. දානේ වළඳන වේලාව හොඳටම පරක්කු වෙලා. දැං ආවත් එන්නේ වෙන කොහෙන් හරි වළඳලා.
මේ වචනවලින් නිශ්චිත තීරණයකට මග පෑදිණ. එහෙත් හිතට හොඳ මදිය. එහෙයින් ඔහු බුදු ගේ ලඟට ගොස් තැන් තැන්වල විසිරි තිබුණු පාත්‍රයක් අහුලා ගත්තේය. එය මනාව සෝදා දාන පෙට්ටිය විවෘත කොට කුඩා පාත්‍රය පිරවුයේය. මාද අඩ ගසාගෙන ගොස් පාත්‍රයට අතගසා සම්මාදම් කරවා ගත්තේ ඉන් ලැබෙන පිනක් හෝ පාපයක් සඳහා මා ද වගකීමකට බඳවාගන්නා වාගේය.
බුද්ධ පුජාවෙන් පසු අපි දානේ පෙට්ටියද ගෙන අසළ වු ගල් තලාවෙහි වාඩි ගතිමු. දාන පෙට්ටිය මැදි කරගෙන දෙපස හිඳගෙන අත දමා පෙට්ටියන්ම ගෙන සිත් සේ කන්ඩ පටන් ගත්තෙමු. තවත් වේලාවක් ගත වෙන විට ලොකු ලොකු ලූල් මාළු කෑලි සඳහා පෙට්ටිය ඇතුළතම අපේ අත්දබර කරගනිමින් පොර කන්නට විය.
කෂණයකින් මගේ දැස් නීලංකාර විය. හාමුරුවන් ගල්පොත්ත නැඟ එනවා මට පෙනෙයි. පොලොව පැලී තව මොහොතකින් පාපකාරී මා සතර මහා අපායටම ඇද වැටෙනවා ඇත. සිදුවන්නේ කුමක්දැයි වටහාගන්නට තැත්කරමින් හාමුදුරුවෝ අප සිටිනා තැනට වැඩම කළහ. පාපකාරි හැඟීමෙන් භිතියට පත්ව ඇස් දල්වා බලා සිටින අප ද අපගේ අතේ ඉඳුල් ද ඇර දමා තිබු දාන පෙට්ටිය ද නිරීකෂණය කළ උන්වහ්නසේ කාරණය වටහාගෙන දෝ මද සිනා පහළ කළහ. ඉදිරියට පැමිණ දාන පෙට්ටියට එබී බැලූහ.
තව ඉතරුවෙලා තියෙනවා නේද ? මටත් හොඳටමබ ඩගිනියි. ඔය ඉතුරුවෙලා තියෙන හරියක් මගේ පාත්තරේට බෙදාපල්ලා.
අප පසුකොට ගිය හාමුරුවෝ නැවත හැරී බැලූහ. කවට හිනාවකින් මුව සරසා ගත්හ. “හැබෑයි මේ වගක් ගමට එහෙම ගිහිල්ලා කියන්නෙ නෑ හොඳද?”
No comments:
Post a Comment
Please be kind enough to leave a comment. Your comment will make me more encouraged.